තිරයෙන් ඔබ්බට​ (beyond the veil)


මානවයා ගෝත්‍රික සතෙකි. ශිශ්ටාචාර බිහි වන්නටත් කලින් මානවයා ගෝත්‍ර කන්ඩායම් වශයෙන් ජීවත් වූ බවට ශාක්‍ෂි තිබේ. තවමත් කන්ඩායම් හැගීම මිනිසුන්ට දෙන්නට ඉතා ලෙහෙසි දෙයකි. විටෙක ආගම තේමා කරගනත්, තවත් විටක හමේ වර්ණය මුල් කරගෙනත් මිනිසා යුධ වැදී තිබේ. එපමනක් නොව තම පාසල, පාසලේ පන්තිය​, හෝ පාසලේ නිවාසය මුල් කරගෙන අනුන්ට වද හින්සා කරන පාසල් සිසුන් අප දැක ඇත​. අරුමය වනුයේ තම ජීවිත කාලය තුල සාමාන්‍ය මිනිසෙක් තම ගෝත්‍ර හැගීම් ප්‍රකාශ කිරීමට නානා ප්‍රකාර ලේබල තම පිටේ අලවාගැනීමය්. එසේ අලවාගෙන තමාත් තැවෙන අතර අනුනද දුකට පත් කරය්. උතුරෙ මිනිස්සු, දකුනෙ මිනිස්සු, උඩරට​ මිනිස්සු, පහත රට මිනිස්සු, කලු මිනිස්සු, සුදු මිනිස්සු, උගත් මිනිස්සු, නූගත් මිනිස්සු, පොහොසත් මිනිස්සු, දුප්පත් මිනිස්සු, ගැහැනු, පිරිමි, කොකේශියන් මිනිස්සු, නීග්‍රෝ මිනිස්සු, මොංගෝලියන් මිනිස්සු, සිංහල මිනිස්සු, සිංහල බෞද්ධ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු, ...මෙහි කෙලවරක් නැත​. බුදු දහමට අනුව​, මෙය සක්කායධිට්ටියේ කොටසකි. මිනිසා සංසාරයට බැදී ඇති බඳන දහයෙන් ප්‍රතමය හා මහත් ප්‍රාතමික බඳනය වනුයේ මේ සක්කායධිට්ටිය නොහොත් සමාජය විසින් නිර්මානය කරන ලද "තමා විසින් තමා හදුන්වාගන්නා" ලේබල වල එල්ලීමය්. ඉන් මිදීමට සමාජය තුල ජීවත් වන්නකුට ඉතා අපහසු වුවත්, යම් හෙයකින් තමා පන්චස්කඳයකින් සැදුම් ලත් මිනිසෙකු පමනක් බවත්, තම සිතුවිලි රටා, කායික ලක්ශන​, හා භාශා රටා තමා ජීවත් වන වට පිටාවත්, ජීවන රටාවත් මත වෙනස් වන බව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දකීනම් එය සෝතාපන්න වීමට අවශ්‍ය එක් සාධකයක් වේ. සෝතාපන්න වූවන් අතර ගෝත්‍ර නැත​. ඇත්තේ තමා ජීවත් වන වට පිටාවත්, ජීවන රටාවත් මත වෙනස් වන මිනිසුන් පමනි. නමුත් සමාජයක් ගුන සම්පන්න වීමටත්, සාමකාමී වීමටත් එතරම් දුර ගිය මිනිසුන්ම අවශ්‍යද​?

ගෝත්‍රික ලේබල දිහා තරමක් ලගින් බැලූ කල ඒවායේ හිස් බව තේරුම් ගැනීමට අපහසු නොවේ. උදාහරනයක් ලෙස "සිංහල​" කම ගැන බලමු. මම සිංහල යැය් සම්මත දෙමාපියන්ට දාව උපන් නිසා, මම සිංහලයෙක් යැය් කියමි. ජාන වශයෙන් ගත් කල​, මගේ දෙමාපිය ජාන මට ලැබෙන ආකාරය මුලු මහත් සත්ව ප්‍රජාවටමත් ගහකොල තුරුලතා වලටත් පොදු ධර්මතාවයකි. එසේනම් මම සිංහල නම් ජාතියකට ජන සම්මත තලයක අයිති වන නමුත්, මම වඩාත් අය්ති වනුයේ, වඩාත් යටත් වනුයේ ජාන නිර්මානය වන ස්වභාව ධර්මතාවයන්ටය​. මෙය බුද්ධ ධරමයේ විදියට අකාලික වූ එසේත් නැත්නම් කාලයත් සමග වෙනස් නොවන බීජ නියාම ධර්මයකට යටත් වීමකි. එය ගෝත්‍රයකට අය්ති වීමට වඩා ඉතා ගැඹුරු තලයක වූ පොදු ධර්මතාවයකට අය්ති වීමකි. මෙම යතාර්තය ද්‍රවිඩ​, මුස්ලිම්, බුර්ගර්, කලු, සුදු මේ ආදී සියලු ජන කොටස් වලට පොදු ධර්මතාවයක් බැවින්, එමෙ ධර්මතා තලයේදී අපි සැම සහෝදරයන් වෙමු.

ජාන වලින් මෙපිට​, මම සිංහල පවුලක කුඩා කාලයේ පටන් ඇති දැඩි වන විට සිංහල සිරිත් විරිත් හා ජීවන රටා වලට නිරායාසයෙන් මුහු වෙමි. මා මෙන්ම​, ද්‍රවිඩ පවුලක ඉපදුන ලමයෙකු ද්‍රවිඩ සිරිත් විරිත් හා ජීවන රටා වලටද​, මුස්ලිම් පවුලක ඉපදුන ලමයෙකු මුස්ලිම් සිරිත් විරිත් හා ජීවන රටා වලටද අනුකූලව ලොකු මිනිසකු වන බව තුලද ඇත්තේ එක් පොදු ධර්මතාවයකි. එනම්, සත්ව සැමගේ ගති රටා තමා වැඩෙන පරිසරයේ බලපෑමට හෝ හේතු වල පලයන් පමනක් වන බවය​. එනම් මීට වසර දහසකට පමන පෙර සිංහලයන්, ද්‍රවිඩයන්, හෝ මුස්ලිමුවන් එම වකවානුවේ පැවතුන ඒ ඒ ජන කොටස් වල සංක්‍රුතික සාරධර්ම හෝ ලක්ශන තුලින් ගොඩ නැගුනු චරිත ලෙස ගත් විට​, අද වෙසෙන සිංහලයන්, ද්‍රවිඩයන්, හෝ මුස්ලිමුවන් සමග සංසංධනය කල නොහැක​. එක්තරා ගෝත්‍රයක ජන රටා හා සංස්ක්‍රුතික අංග කාල අක්ශයේ පෙල ගැසූ කල යම් අකන්ඩ චක්‍රයක් සේ දිස් වුවත්, විටින් විට පවතුන වඩා බලවත් ගෝත්‍රික සිරිත් අනිකුත් ගෝත්‍රික සිරිත් වලට උකහා ගැනීම්ද මේ අතර වේ. අදාහරනයක් ලෙස සිංහල හා ද්‍රවිඩ ජන කොටස් දෙකම යුරෝපීය සංස්ක්‍රුතික අංග බොහොමයක් තමාට ආදේශ කරගෙන ඒවාට වෙනෙ වෙනම ජාති මාමක උරුම කම් කීම තරමක විහිලුවකි. එනම් අප සියලු දෙනා ගෝත්‍රික සාරධර්ම වලට අයත් වුවත්, එම තලයේදී එකිනෙකාගේ පැවතුම් රටාවල වෙනස් කම් සොයාගත්තත්, වැඩෙන පරිසය හා බද්ධව අප ජීවන රටා නිර්මානය වන ආකරය පොදු ධර්මතාවයකි. මෙය වඩාත් පැහැදිලි වනුයේ යුරෝපීය පවුලක් විසින් අරන් හදාගත් සිංහල හෝ වෙනයම් කන්ඩායමක දරුවකුගේ ජීවන රටා දුටු විටය​. එනම් අප සැවොම​, පරිසරය හා බද්ධව මිනිස් ජීවන රටා ගොඩ නැගෙන ධර්මතා තලයේ සහ සහෝදරයන් වෙමු.

මෙය​, ගෝත්‍ර වලට පමනක් සීමා නොවේ. සක්කායධිට්ටිය යනු සමාජය විසින් නිර්මානය කරගන්නා නා නා ප්‍රකාර ලේබල වල එල්ලී පුද්ගල හැගීමක එල්බ ගැනීම බැවින් එහි පැටලුනු මිනිසුම් සියලු දෙනා විවිධ ලේබල නිසා සටනට යති. සමහර ක්‍රීඩා තරග අවසන ක්‍රීඩා ලෝලීන් තම ක්‍රීඩා සමාජය (ක්ලබ්) වෙනුවෙන් අනෙකුත් ක්‍රීඩා සමාජ ලෝලීන් සමග සටනට වැද ගහ මරාගනිද්දී, ක්‍රීඩා සමාජ වල අයිති කරුවන් ලාබ ගනන් කොට ජය පැන් බොන ආකාරය දුටු විට කාගේ සෞභාග්‍යය සඳහා මිනිසුන් සමාජය විසින් නිර්මානය කරන ලද ලේබල වල එල්බ ගන්නාහුදැයි ප්‍රශ්නයක් නැගේ. මෙය දේශපාලන තලයටද පොදුය​. අපට පෙන්වන ලද ලේබල වල එල්බ අප ගහ මරාගන්නා අතර අපේම සාක්කුවට විදින්නේ අප ගැලවුම් කාරයන් යැය් සිතා සිටන දේශපාලකයන් බව බොහෝ විට අපට නොපෙනේ.

මෙම ලේබල වලට ජාතිය හා ආගම මුසු වූ විට තත්වය තරමක් සංකීර්න හා බරපතල වනු ඇත​. උදාහරනයක් ලෙස "සිංහල බෞද්ධයා" කියන ලේබලය ගමු. පලමුව ජාතික සංක්‍රුතියක් හා බුද්ධ වචනය කවලම් කරන සම්ප්‍රදාය පටන් ගත්තේ බුද්ධ ධර්මය මහායාන හා හීනයාන (නොහොත් තේරවාදී) යන වශයෙන් දෙකට බෙදුන පටන්‍ ය​. බහුතරයක් භික්ශූන් බුද්ධ ධර්මය සමාජගත කිරීමට හොඳම විදිහ ජාතික-ආගමික සංස්ක්‍රුතියක් ගොද නැගීම බව විස්වාස කලෝය​. බහුතරක් මෙම මතයේ සිටි නිසා මෙය "මහායානය​" බවටද​, සුලුතරයක් සංස්ක්‍රුතික ලේබල වල එල්බගෙන සිටීම යනු සක්කාධිට්ටිය තව තවත් ඝනීභවනය කිරීමක් වන බැවින් හා එම නිසා නිවන් මාර්ගය ඇහිරෙන බැවින් සංස්ක්‍රුතියත් බුද්ධ ධර්මයත් වෙන් වෙන් වශයෙන් තැබිය යුතු යය් කිවූ නිසා එය "හීනයානය​" බවටත් පත්විය​. මහායාන සම්ප්‍රදාය චීනය​, කොරියාව​, හා ජපානය දිසාවට පැතිර ගිය අතර​, එම රටවල චීන​-බෞද්ධ​, කොරියන්-බෞද්ධ​, ජපන්-බෞද්ධ යන සංස්ක්‍රුතික​-ආගමික ලේබල ගොඩ නැගෙන්නට වින​. ශ්‍රී ලංකාව, තායිලන්තය​, කාඹෝජය වැනි රටවලට හීනයාන නැතහොත් තේරවාදී සම්ප්‍රදාය පැතිර ගිය මුත්, ප්‍රායෝගිකව එය එසේ පවත්වා ගැනීමට විවිධ භාධා මතු වුනි. උදාහරනයක් විදියට ශ්‍රී ලංකාවේ නිදහස් අරගලය තුල නිර්මානය වූ සමහර නායකයන් සිංහල කමත් බෞද්ධ කමත් කවලම් කොට සිංහල-බෞද්ධ කියන ලේබලය වටා ජනයා සංවිධානය කලෝය​. පිවිතුරු බුද්ධ ධර්මයට ඉන් අත්වන ධීර්ග කාලීන පසු බෑමට වඩා, ගෝත්‍රයක් වශයෙන් ජනයා එක් රැස් කිරීම කාලයේ අවශ්‍යතාවක් ලෙස දුටුවා වන්නට පුලුවන​. නමුත් බෞද්ධයෙක් වශයෙන් නිවන කරා යන ගමන තරමක් දිගු හා ප්‍රඥ්‍යාව මුල් කරගෙන යන ගමනක් බැවින්, කෙටි කාලීන අරමුනු සඳහා බුද්ධ වචනය බිල්ලට නොදිය යුතුය​.

සකෙවින් ගත් කල උඩින් පෙනෙන ගෝත්‍රික ජාන හෝ ගෝත්‍රික ජන රටා වල එල්ලී එම ලක්ශන ආරක්ශා කරගැනීමට සටන් වදීනම්, එය එක් අතකින් කාලයත් සමග කොහොමත් වෙනස් වන ලක්ශන ආරක්ශා කිරීමට කරන සටනක් වන අතර​, අනිත් අතින් ගත් කල ඊට වඩා ගැඹුරු වූ ධම්ම තලයක සහෝදරයන් සමග කරන සටනක් වනු ඇත​. මෙම ධර්ම කාලයත් සමග වෙනස් නොවන නිසා අකාලික යය්ද, ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ඕනෑම තැනක අධ්‍යයනයට හා සංවේදනයට මෙම ධර්මතා විවුර්තව පවතින බැවින් (හරියට නිතරම දොර විවුර්තව ඇති නවාතැනක් මෙන්) ඒහිපස්සික යය්ද, මෙම ධර්ම අධ්‍යයනය කරත්ම මේවා තමාට පරි-භාහිර දේවල් නොව තම සිරුර හා මනස තුලද පවතින බව ඒත්තු යාම නිසා ඕපනය්ක යය්ද, ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ඕනෑම තැනක නුවනින් සංවේදනය කල හැකි බැවින් පච්චත්තන් වේදිතබ්බෝ වින්යුහෝති යය්ද කියනු ලැබේ. මෙය සැක නැතුව වටහාගත් විට, තමා මෙසේ යය් හඳුනාගත් පදනම සැනෙකින් සමාජ තලයේ ඇති ලේබල වලින් මිදී ධර්මතා තලයට වැටේ. එය කාලයත් සමග වෙනස් නොවන යාත් කාලින අරටුවක් ඇති අය්තියක් බැවින් සිතට දැඩි සහනයක් ලැබේ. නිර්වාණය ඇත්තේ එම තලයේ බැවින්, ඉන් මතු ගමනේ ආපසු හැරවුමක් නැත.

සමාජය විසින් විවිධ ප්‍රායෝගික හේතු මත නිර්මානය කරන ලද සමූහ ලේබල එම ප්‍රායෝගික සමාජ තලයේ සැබෑවට පවතින මුත් කාලය සමග වෙනස් වී යන ප්‍රායෝගික පසුබිම තුල ලේබලයේ අල්ලා ගැනීමට තැනක් නැති වන්නේය​. තමා තුල හටගන්නා වේදනාවක් හෝ ශරීරයේ වෙනසක් හෝ පොදු ධර්මතාවයකින් පිටත හට නොගන්නා බව තහවුරු වූ පසු පෙර නොවූ ගරුත්වයක් දහමට ඇතිවේ. එය තමාට රඳා පැවතීමට ඇති වඩාත්ම විශ්වාසදායි අත්ත හෝ අක්ෂය බවට පත්වේ. එම අක්ෂය සැම විටම තමා ළඟ ඇති බැවින් වෙන වෙන සමාජ සන්තක ලේබල වල අගය එක විට පහලට වැටේ. ඒවා ප්‍රයෝගිකව අවස්ථාවට වැදගත් සම්මුති පමණකි. ඒවා රැකීමට වඩා කල යුත්තේ, ප්‍රයෝගිකව ලේබල පරිහරණය කොට ඒවායේ එල්බ නොසිට නැවත ධර්මතා තලයට පැමින ඉතා සුක වුත් සුන්දර වුත් ජීවිතයක් ගත කිරීමය්. උදාහරණයක් ලෙස, මම උදෑසන සේවයට එන විට, සිසුන් මා දෙස බලන්නේ පන්චස්කන්දයක් ලෙස නොව විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු හෝ රොබෝ තාක්ෂණය පිලිබඳ පර්යේෂකයෙකු ලෙස බව මම සිහියේ තබාගමි. නමුත් දේශණයක් අවසන හෝ ඒ අතරතුර සැබෑ මම යනු කුමක්දය් හොඳින් සිහියේ තබාගමි. පන්චස්කන්දයේ නිරන්තරයෙන් නැගෙන හා බැසයන සාක්‍ෂි එයට යොදාගනිමි. මා රඟපාන චරිතය සැබෑවක් නොව, හුදු අවස්ථාවට වඩාත් සුදුසු "විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු හෝ රොබෝ තාක්ෂණය පිලිබඳ පර්යේෂකයෙකුගේ" චරිතයක් පමණක් බව සිහියේ තබාගෙන, හැකි සැම වෙලාවකම ධර්මයේ "නවාතැන" වෙත යමි. මෙය ගිහි ජිවිතයේ සිට සවොමටම කල හැකි දෙයකි. මගේ භාවනා පුහුණුවට උපදෙස් දෙන අජාන් අමාරෝ මට දවසක් පැවසුවේ "පර්සොනා (persona or identity of personality) උකහාගෙන ඇත්තේ ලතින් භාෂාවෙනි. එහි තේරුම "පර් (going through)" "සෝනා (sound)" එකට ඈඳී සැදී ඇත. එනම් පර්සොනා යනු වෙස් මුහුණකි. එය පැළඳ කතා කරන විට ශබ්දය පමණක් එලියට යය්. නමුත් සැබෑ මුහුණ එලියට නොපෙනෙය්. එම නිසා, සැබෑ මම යනු පන්චස්කන්දයක් පමණක් බව තමා පමණක් දැන සිට, සමාජය විසින් තමාට අලවා ඇති ලේබල (සිංහල, දෙමල, මුස්ලිම්, උඩරට, පහත රට, සුදු, කළු, දුඹුරු,..ආදී) පරිහරණයේදී ඒවා (පර්සොනා) අවස්ථානුකුලාව පරිහරණය කොට හැකි සැම අවස්ථාවකම එය ගලවා පසෙක තැබිය යුතුය."

මෙම මුහුණු වැස්ම ගලවා තබා ධර්මයේ නිවහනට ගොස් ගිමන් හරින්නට ඇති හැකියාව අප කා සතුවත් ඇත. තරමක් නැවතී බලන්න. ඔබ පිරිමියෙක් නම් උත්සවයකට යන විට හොඳ කමීසයක් (ස්පාන්ග්ය/පෘතුගීසි) පැළඳ, සපත්තු (පෘතුගීසි), මේස් (පෘතුගීසි) දමා යනු ඇත (සමාජ සම්මතයට අනුව). ගැහැනියක් නම් යම් සමාජ සම්මත විලාසිතාවකට අනුගත වී ඇඳ පැළඳ යනු ඇත. ඔබ ඉන් යම් වින්දනයක් ලබනු ඇත. යහලු මිත්‍රාදීන් හමුවී ඔබේ හා අන් අයගේ දියුණුව ගැන කතා කිරීම ප්‍රිය ජනක දෙයක් වනු ඇත. නමුත් නැවත නිවසට පැමිණ, ටය් (ඉංග්‍රීසි), කෝට් (ඉංග්‍රීසි), සපත්තු (පෘතුගීසි), හෝ මාල, වළලු ගලවා ගෙදරට අඳින සරල ඇඳුමක් ඇඳගත් විට දැනෙන්නේ කුමක්ද? සිතට නිවීමක්, සැහැල්ලුවක් දැනේ. එනම් අපේ සැබෑ විදියට අප පිළිගන්නා තැනට පැමිණිය වහාම අපට සැනසීම දැනේ. එය සමාජය තුල නිවහන නම් වේ. සිංහල භාෂාවට නිවහන කියන වචනය නිවීම ඇති තැන යන අරුතින් සැදුනු එකකි. නිර්වාණයට කිට්ටු වන කෙනෙක් සක්කායදිට්ටිය පහ කොට අප මනසේ නිරන්තරයෙන් ඇති නිවහනට ලං වේ. ඒ නිවහන අප පන්චස්කන්දයක් ලෙස කොන්දේසි විරහිතව පිලි ගනී. පෙර කී උත්සවයකට ගොස් ගිහි නිවහනට විත් සැබෑ තමා වන විට දැනෙන සැනසීම ගැන සිතා, නිරන්තර තම මනස තුල ඇති නිවනට ලං වත්ම දැනෙන සහනය කිනම් දෙයක් විය යුතුයි සිතා බලන්න. එසේ සිතා, ගෝත්‍ර හැඟීම් වලට වහල් වී ගෙවන ජිවිතයෙන් මිදීමට තැත් කරන්න.





Comments

Popular posts from this blog

A formula to ignite youth tech start-ups in developing countries

Re visiting the foot prints

For PhD students – a personal note on mental health